Mar 3, 2013

මාව තේරුම් අරන් තියේවිද ?



හැම අව්රුද්දකම දෙවෙනි මාසේ අපි දෙන්නට ගොඩක් වැදගත්. දෙන්නම ඉපදිලා තිබුනෙ එකම මාසෙ.එයා පළමු වෙනිදා.උපන්දිනේ පහුවෙලා අදට හරියටම සති දෙකක්.අද දවසත්වැදගත්..,අනික් අයට.. මට..,අන්තිම නොවැදගත්.
වෙන දවසකනම් දවස උදා වෙන්නේ මොකක්හරි ටෙලිෆෝන් සමාගමකට ණය වෙන ගමන්.... 
...නෑ.ඇයි මට අද වැදගත් නැත්තේ? අද මගේ ජීවිතේ වැදගත්ම දවසක්! තීරණයක් ගන්න වෙන දවස.තීරණේ  ලැබෙන දවස.ඒක ජීවිතයගැන තීරණයක්ම වේවී.ඒ තීරණේ මොකක් වෙයිද.මාව තේරුම් අරන් තියේවිද.මාව විශ්වාසකරලා තියේවිද ...එහෙම නැති උණොත්?...,මං මගේ ජිවිතේ ගැන තීන්දුවක් ගන්නවා...නිදි පෙති ටිකක් හොයාගත්ත.බොහොම අමාරුවෙන්...
                                                                     ඇහැට නොපෙනෙන දුවිල්ල කපාගෙන බස් එක වේගෙන් ඉස්සරහට ඇදෙනවා.හරියට ගින්නක් නිවන්න යන වාහනයක් වගේ.ඇතුලේ තියෙන හුලං ,පෑල දොරෙන් එලියට පැනගන්න වීරිය ගන්නවා.එලියෙ තියෙන හුලං ,බාගෙට වහපු යකඩ ජනෙල් වලින් ඇතුලට එන්න දඟලනවා.කුණු ඇලේ ගඳ ඉවසන්න බැරුව වගේ හැමෝම නහය වහගත්ත.හරියට මීට කලින් ඒ ගඳ දැනිල පුරුදු නැති අය වගේ.

කරදරේ වෙලා තියෙන්නෙත් මට,මටයි දුක වැඩියෙන්ම දැනෙන්නේ.ජීවිත කාලෙටම හිතින් විඳවයි.එහෙව් එකේ,මේ දුකත් හිතේ දරාගෙන,මට බෑ ,සදාකාලික හිර කාරයෙක් වගේ ජීවත් වෙන්න. වෙච්ච අත්වැරැද්ද ආයිත් හදන්න බෑ.මට ඕන  මගේ ආත්මය,එයාගේ ආත්මය වෙනුවෙන් කැප කරන්න.ඒ වෙනුවෙන්  කරන්න පුළුවන් හැම දෙයක්ම කරනව.

                         පොඩි එකෙක් බයිසිකල් රිම් එකක් පැදගෙන ඇල වේල්ල දිගේ දුවනවා.ඒ ජිවිතේ කොච්චර සැහැල්ලුද.වැව් තාවුල්ලේ ඉන්නකොට හමන් එන හුළඟ වගේ.කිසිම බාධාවක් නැතුව ඇවිත් ඇඟ සිපගන්නනවා.
                                                 අපේ ජීවිතවල කොච්චර පෙරලි ආවත් මොනව උනත්,හිත ශක්තිමත්ව තියා ගන්න පුරුදු වෙන්න ඕන.එත් බැරිම දේත් ඒකයි.සැපදුක නිති පෙරලේ.එකයි ස්වභාවය.රිම් එක වලක වැටිල,උඩ පැන්නා.එත් දිගටම ගමන යනව,පොඩ්ඩට හරි සතුටුයි.පොඩි එකාගේ දකුණු කකුලේ තුවාලයක්.හරියටම දනිස්සයි වළලුකරෙයි හරි මැද.මෝටර් සයිකලේකට පිච්චිලා. අලුත් තුවාලයක්. සතියකටවඩානම් අඩුයි.හරියකට බෙහෙත් ටිකක් නැති පාටයි.ප්ලාස්ටරයක්වත්....
  
                          ඇල කණ්ඩියේ කොට්ටම්බා ගහක් යට ඉඳන් වයසක මනුස්සයෙක් බීඩියක් උරනවා. හොරෙන්වගේ. ඉස්කෝලෙ  කාලේ මතක් උනා. සුරංගි ඇවිල්ලත් ඇති.ඒ ගොල්ලො වෙලාවට එන කට්ටිය.සුරංගි මගේ හොඳම විතරක් නෙවේ පරණම යාලුවෙක්.ඉස්කෝලෙ කාලෙ ඉඳන්.අපි දෙන්නට එක ළඟ ඩෙස්ක් දෙකක ඉඳන් ඉගෙන ගන්න බැරි උනාට,දවල් කෑම අපි ,එකට ගත්ත.උසස් පෙලට යද්දි,සුරා ආර්ට් කරන්න ගියා.එයා නීති පීඨ තේරුනා,මං මෙඩිකල්.එහේ ඉන්න කාලේදී තමයි මට එයාව හමු උනේ.ශ්‍රීපාලි මණ්ඩපේ.ලස්සනට සින්දු කියන්න පුළුවන්.මට  එයාව පෙනුනෙ සමනල කන්දෙන් පටන් ගන්න ගඟක,මුල් උල්පත වගේ.කිසිම අතු ගංගාවකට සම්බන්ධ නෑ.තනියෙන් යන ගමනක්.නෙළුම් වැවේ ඔරු පදිනවා වගේ,ඒ කාලේහරිම සුන්දරයි.ජීවිතේ අපි ආස කරන ආදරණීයමකාලේ ඉක්මනටම ගෙවිල යනව.ග්ලුකෝස් හැන්දක් වතුරට දැම්ම වගේ.
                                                          මට කළුබෝවිලට පත්වීම හමු උනා.දෙහිවල ඇන්ඩර්සන් පාරෙන් ඇනෙක්සියක් ගත්තා.එතන ඉඳල මට වැඩට යන්න ලේසියි .පාගල ගියොත් හරියටම විනාඩි අටයි.දුර ඉඳල ආවොත් පැය ගානක් වාහනේ ඇතුලෙ ගෙවන්න වෙනවා.පල්ලමක් එක්ක වංගුවක්.වේගෙ අඩු කරපු බස් එක ආනන්ද මාවතෙන් මරදාන පැත්තට දැම්ම.
                      කාලෙත් එක්කම ටිකෙන් ටික අපි අතර ප්‍රශ්න ඇතිවෙන්න පටන් ගත්තා.ජිවිතේ වෙනස් උනා.සතුට නැති උනා.ක්ෂණයකින් සිද්ධවෙච්ච රසායනික ප්‍රතික්‍රියාවක් වගේ ඒ හැම දෙයක්ම සිද්ධ උනේ එක පාරටම. මම එයාගෙන් දුරස් වෙන්න උත්සහ කලා.ඒ වෙලාවේ හැටියට කරන්න ඕන කියල මම දැකපු විසඳුම තමයි ඒක.

දවසක් මං වැඩ ඇරිලා ඇනෙක්සියට ආව.මහන්සියට ටිකක් ඇඳේ ඇල උනා.එක පාරටම හීනෙන් වගේ දැක්ක දෙයින් කවදාවත් නැති විදිහට මං කලබල උනා. ඒ රුව..කවදාවත් අමතක නොවන ඒ රුපය.කාමරේ දොර ළඟ.එයා මගේ පස්සෙන් ඇවිත්.මොකක්දෝ අමුත්තක් තිබුනා.හරියට අවසිහියෙන් වගේ. "මට ඔයා නැතුව ජීවත් වෙන්න බෑ.කොහොමටවත්"   ඒ හැඬුම් ස්වරය මගේ කන් පසාරු කරගෙන හදවතට රිදුම් දුන්නා.වචන දෙක තුනක් කියපු එයා උලුවහුව අල්ලාගෙන බිම වාඩි උනා.ඒ ඇස්වල තිබුණු දුක්බර පෙනුම තවම මැවි මැවි පේනවා.අයනොක්සයිඩ් පෙති දෙකක් වගේ බොර පාට වෙලා.අතේ පුංචි කුප්පියක්. වස! මල්වලට ගහන එකක්.බාගයක්ම බීල.

                        "මාව බේර ගන්න.මට ඔයාව දාල යන්න බෑ".

 වික්ටෝරියාව වාන් දානවා වගේ මුරණ්ඩුකම ඉහටත් උඩින් තිබුනට,මැරෙන්න තරම් මේ හිතට ශක්තිය දුන්නේ කව්ද කියල මට හිතා ගන්නත් බෑ.මෙයාට මොනවද දෙන්නේ?.  සින්දු වැස්ස,මගේ පණ.. තියෙන හොඳම බෙහෙත.කරන්න පුළුවන් හොඳම දේ.මං ළඟ බෙහෙත් ටිකක් තිබුනා.ලෙඩාගේ බඩ පිච්චෙන එක නවත්තන්න ඒ ටික දැනට ඇති.පුළුවන් ඉක්මනට ඉස්පිරිතාලෙට එක්කන් ගියා.එක පාරටම බ්‍රේක් පාරක්.කලර් ලයිට් ජෑම් එකක්.පාරවල් දෙකටම එක සැරේ කොළ ලයිට්එක  පත්තු වෙලා.පොඩි අනතුරක්.මැදි වයසේ ගෑනු කෙනෙක් කාර් එකෙන් එලියට බැහැල පිටි පස්සෙන් ආපු වෑන් එකේ රියදුරාට තොර තෝංචියක් නැතුව බනිනවා.
                       " තමුසේ මගෙ අලුත්ම කාර් එක කෑව අයිසෙ".
                     "හිතල හැප්පුවේ නැහැ මැඩම්, 
                        ලයිට් එක පත්තු උන නිසයි මම ඉස්සරහට ගත්තේ"
                        
                "ඔය  මොන කතා කිව්වත් වැඩක් නැහැනෙ දැන්,මේක කලින් තිබුණු විදිහට                                                                 ආයිත් හදන්න පුලුවන්ද"

අපේ ඩ්‍රයිවර්ගේ කාකි පාට ඇඳුම දාඩියට පෙගිලා තවත් තද පාට වෙලා.වාහනනම් කලින් තිබුන විදිහට හදන්න  බැරිනම්,අලුත් එකක් ගන්න පුළුවන්.ඕනි වෙන්නේ සල්ලි විතරයි.එත් ජීවිත සල්ලි දීල ගන්න පුලුවන්ද.බිඳුණු හදවත් ආයිත් තිබුණු විදිහට හදන්න පුලුවන්ද? 
ජීවිතයක් කියන්නේ හරිම දුර්ලභ දෙයක්.න්‍යෂ්ටියක් සියක් ලක්ෂවාරයක් විශාල කරලා බලන්න පුළුවන් ලෝකෙක, ජීවිතය, ඇහැට පෙනෙන වගේම නොපෙනෙන බලවේගවල අද්වතීය ප්‍රතිපලයක්.සමහර දේවල් වෛද්‍ය විද්‍යාවටත් පැහැදිලි කරන්න බැහැ. 

එක එක විදිහේ පෞරාණික ගොඩනැගිලි මැදින් ආව බස් එක හිටිහැටියේම නතර කළා.ඉක්මනින් බැහැගන්න මට උවමනාවක් තිබුනේ නැහැ.බස් එකෙන් බහිනකොට වටේ හිටපු අය යකෙක් දිහා බලනවා වගේ මගේ දිහා බැලුව.ඉක්මනට මං ඇතුලට ගියා.සුරංගි හිනා උනා.. යාන්තමට.අපි දෙන්න ගැන හරියටම දන්නේ එයා විතරයි.අපි රණ්ඩු උනහම එයා තමයි සමථකාරයා.අදත් එයා දෙවියෙක් වගේ මගේ පිහිටට ඇවිත්.
පරිසරය කලබලයි.ඒ කව්රුත් කතා කරන නිසා නෙවෙයි.හදවත්වලින් නැගෙන අසහනකාරිබවේ නීරස ශබ්දය.හැම ශබ්දෙකටම වඩා ඝෝෂාකාරයි... යාතිකාවකට සුදානම් වෙන්න  වගේ පරිසරය එකපාරටම නිශ්ශබ්ද උනා. තීරණේ...තීරණේ... මගේ හිත ඇතුලේ දෝංකාර දෙනවා.මාව තේරුම් අරන් ඇත්ද? මට කිසිම සමාවක් වැඩක් නැහැ.මාව තේරුම් අරං නම් එච්චරයි.
තනි සුදු සාරියක්.එයා අවා.සුදු පාට සංකේතවත් කරන්නේ මුසල බවක්ද? නැහැ.මං හිතන්නේ නැහැ.. ලොකු බැල්මක්.ඇඟ පසාරු කරගෙන ගිහින් හිත ඇතුලටම එබිලා බලනවා වගෙයි මට තේරුනේ.
පුංචිම පුංචි රුධිර නාල වල ඇතුලටම ගිහින් බලන්න පුළුවන් කැමරා,අපි ඔපරේෂන් වලදී පාවිච්චි කළත්,
හිත ඇතුලට ගිහින් බලන්න තියා,ස්කෑන් කරලා බලන්න පුළුවන් යන්ත්‍රයක්වත් තවම හදල නැහැ. කෙනෙක්ගෙ හදවතක් ඇතුලට එබිලා බලන්න පුළුවන් වෙන්නෙ තවත් එක හදවතකටම විතරයි. බය වෙන්න දෙයක් නැහැ,මගේ හිත අවංකයි.
                                                                                                                                                                                 එයා සුරංගිත්එක්ක කතා කළා.ඒ මං ගැන.. ලිවුම් කිව්‍ම්, ගොනු පිටින් එහාට මෙහාට උනා,
ඒවා මගේ.ඒත් මට අදාල නෑ වගේ මං බිම බලාගෙන හිටියා.අන්තිමේදී තීන්දුව ලැබුනා.

                                      එදා එයා ට්‍රොලිය උඩ තමන්ගෙ ජීවිතේ තියල අහසට ඇදිල ගියා.වලාකුළු පිරිල තිබුණු ඒ අහසේ,සීතල මීදුම් අතර හැංගුනා.සදහටම.ඔව් සදහටම... මිනී මැරුමක්! ප්‍රේමයේ අවසන් ප්‍රතිපලේ! ...මිනිස්සු ඒක අර්ථකතනය කලේ එහෙමයි.. වස කුප්පියේ තිබුණු මගේ ඇඟිලි සලකුණු, සිය දිවි නසා ගැනීමක්නම්  ලිව්මක්වත් ලියල තියල ගිහින් නැත්තේ ඇයි?,එයා මගේ ඇනෙක්සියෙ හිටිය එක,රෝහලකට එක්කන් යන්නේ නැතුව සිය මතයට ඖෂධ ලබාදීම..  චෝදනා ගොඩක්.. වලාකුළු අහසේ ඉඳන් මගේ සින්දු කෝච්චිය කෑ ගහල කියන්නත් ඇති,උනේ මොකක්ද කියල.

                       ශාලාව පුරා පුංචි කසු කුසුවක් පැතිරුණා.හරියට මට දීපු තීන්දුවට එරෙහි වෙන්න වගේ.එයට මෙහි ඉඩක් නැහැ.වහාම අප්‍රසාදය පල උනා.යලිත් නිශ්ශබ්දයි ... මම නිර්දෝෂයි.ස්තුතියි නඩුකාරතුමියනි.හිමින් මිමිනුවා,කාටවත් නෑහෙන්න. 

කැන්ටිමේ කෙල්ල තේ එකක් ගහන සද්දෙට මං සිතුවිලි ලෝකෙන් නැගිට්ටා.උසාවි කැන්ටිම ළඟ බංකුවේ මං කොච්චර වෙලාවක් මෙහෙම වාඩි  වෙලා හිටියද කියන එක ගැන මට කිසිම අදහසක් නැහැ.. තේ එක කඩවසම් කොල්ලෙකුට. හැඩ හුරුවෙන් ටිකක් එයා වගේ.කහට එක කොච්චර පෙරල දුන්නත් වීදුරුවෙ අඩියට බාවෙච්ච තේ කුඩු ටිකක් ඉතිරි වෙලා.


                                "කොහෙද කෙල්ලෙ ගිහින් හිටියෙ,මම හැම තැනම හෙව්වා" 


තේ කුඩුත් එක්ක  දැහන්ගතවෙලා තිබුණු හිත සුරංගිගේ කට හඬට කැළඹිලා ආයිත් නිසොල්මන් උනා.
අනික්  ඔක්කොම අත හැරලා සුරංගි මේ නඩුව බාරගත්තේ මම ඔයාව බේර ගන්නවා කියල සපථ කරලා. කිව්වා වගේම එයා එක කළා.සුරා මාව බදා ගත්තේ පුදුමාකාර සතුටකින්.වැඩ ගොඩක් මග අරුනා සුරංගිට මම හින්දා.ගොඩක් පින් මේ උදව් වලට.. කාටත් හොරෙන් මම ඇස් හැරෙව්වා පහතට.පපුවට තුරුල් වෙලා ඇඳුමට යටින් හැංගිලා හිටපු පෙති ටික,උඩට ඇවිත්.දාඩියට කඩදාසි පැකට් එක බාගෙට පෙගිලා.සුරාට නොපෙනෙන්න හිමින් ඒක ආයිත් ඇඳුමට යට කර ගත්තා.

නිදහස කියල මට මේ හමුඋන ලෝකෙ දැන් මම මොකද කරන්නේ.දැන් තියෙන්නේ කලින් තිබුණු ලෝකෙම නෙවෙයි නේද ? මොකක්දෝ අඩු පාඩුවක් තියෙන ලෝකයක්.මේ අඩු පාඩුව කොහොම නැති කරන්නද.කොහොම පිරිමහන්න පුළුවන් අඩුපාඩුවක්ද.
ඇත්තටම,ඇත්තටම මේක මිනී මැරුමක් වෙන්න බැරිද.පොඩ්ඩක් හිතුවොත්..,ඇත්තටම මං මිනී මැරුමක්ද කලේ?මේක සියදිවි නසාගැනීමක් කියල ඔප්පු උනත්,එයාව ඒ තත්ත්වෙට ඇදල දැම්මේ මම නෙවේද? ඔව් මම තමයි.ඇත්තටම මම... මට දැන් හොඳට තේරෙනවා. මේ සිද්ධියේ වැරදිකාරයෙක් ඉන්නවා,සිය දිවි නසා ගැනීමක් නෙවෙයි.කොහෙත්ම නැහැ.වරද මගේ.මම එල්ලුම් ගස් යන්න ඕන කෙනෙක්.එච්චර ලොකු වැරැද්දක් කරලා මෙහෙම මම නිදහසේ ඉන්න එක වැරදියි.

                               මෙච්ච්චර වෙලා නිර්දෝෂිභාවය ගැන හඬ ගාපු හිත,දැන් ආපස්සට අදිනව.සිතුවිලි වෙනස් වෙලා.මම ආයිත් ඇතුලට යන්න ඕන.මට හිමි වෙන්න ඕන මරණ දඬුවම.එත් මදි.මට පණට වගේ ආදරේ කරපු මනුස්සයෙක්ව මම මරා ගත්තා.. 
බන්ධනාගාර බස් එක ආවට වඩා සැහැල්ලුවෙන් ආපහු යනව.මාත් එක්ක ආපු අය යකඩ ජනෙල් වලින් එබිකම් කරනවා.සැනසුම් සුසුම් හෙලනවා.එපා.හිතනවා වැරදී..,මම කිසිම සැනසීමකින් නෙවේ ඉන්නේ.දැන් මට පසුතැවීමක් විතරයි ඉතිරි වෙලා තියෙන්නේ. ඒක,හැමදේටම වඩා දරාගන්න අමාරුයි. ප්‍රීතියක් නැති මගේ බොල් මුහුණ,ඒ අයට ප්‍රශ්නාර්ථයක්.

නිරාසයෙන්ම මං නැගිට්ටා. 

                                   "වතුර බෝතලයක් ...?"   

                                   "කුල් එකක්ද මිස්"  

                                     "තිස් පහයි" 

            මහ පාර රත් වෙලා ගිනි උඳුනක් වගේ.මිනිස්සු එක එක අත දුවනවා,ප්‍රශ්න පත්‍රයක් ඔලුවෙ තියාගෙන.ඒ උනාට මේ ලෝකේ ලොකුම ප්‍රශ්නෙ හිමිකාරී,මම. හෙට මාව වළලන්න ඕන,එයාගේ සොහොන ළඟ.ඔව් එතනම.මට එක සැරයක් හරි බලන්න තියෙනවනම්.. 

ඩ්‍රයිවර් පිටිපස්ස හැරිල මගේ දිහා දෙසැරයක් බලල,ආයිත් කන්නාඩියෙනුත් සැරයක් බැලුව.
                                       
                                               "කොටහේන කනත්තට..,  ..කනත්ත ළඟට"  

                           ත්‍රීවිල් එක ඉස්සරහට ඇදුනේ අඩමානෙට වගේ. කල්පනාකරන්නත් දෙයක් දැන් ඉතිරි වෙලා නැති නිසා තවමත් සීල් කඩපු නැති වතුර බෝතලේ ලේබලේ කියවන්න ගත්තා...  අද කවදද? කල් ඉකුත්වන දිනය ජනවාරි දහය.     කල් පැනලා..      මාසෙකටත් වැඩියි...,    ...තවත් හොඳයි.





2 comments:

Sandaruwan Amarasekara said...
This comment has been removed by the author.
Sandaruwan Amarasekara said...

අව්රුදු දෙකකට පස්සේ බ්ලොග් එක අප්ඩේට් කළා.මේ බ්ලොග් අඩවියේ සිය වෙනි "පොස්ටුව" මෙයයි . කතාවේ "චරිතය" ගැහැණුද පිරිමිද කියලා කතාවේ අවසානය වෙන තෙක්ම හංගල තියන්න උත්සහ කළා .ඒ නිසා මේක ටිකක් තේරෙනවා හොරයි .නොතේරෙනව වගෙයි.., කියල හිතෙනවා ඇති. ඒත් දැන් ආයිත් මුල ඉඳල එක පාරක් කියව්වොත් ඒක හරි යයි.

සිත මහා පුදුම තැනක්.. "හඹා එන විට පලා යයි ,පලා යන විට හඹා එයි" . කතාවේ න්‍යෂ්ටිය ඇත්තේ ඒ වටා ය . අමාරුවෙන් හරි සම්පුර්ණ කතාව කියවන්න උත්සහ කළ හැමෝටම ස්තුතියි .